අනුරාධපුර යුගයේ ස්‌වාභාවික සම්පත් හා විදේශ වෙළෙඳ සම්බන්ධතා

 

එම්. කේ. අමිල ඉන්දික
කැලණිය විශ්වවිද්‍යාලය

ලෝකයේ විවිධ ප්‍රදේශවල පවතින ස්‌වාභාවික සම්පත් ව්‍යාප්තියේ විෂමතාව ද ඒ හේතුවෙන් නිෂ්පාදන ක්‍රියාවලියේ ඇතිවන ප්‍රාදේශීය විශේෂීකරණය ද ජාත්‍යන්තර වෙළෙඳ සම්බන්ධතා කෙරෙහි පසුබිම නිර්මාණය කරන ප්‍රධාන සාධකයකි. පුරාණ ශ්‍රී ලංකාවේ විදේශ වෙළෙඳාම කෙරෙහි මෙරට ස්‌වාභාවික සම්පත්වලින් තීරණාත්මක බලපෑමක්‌ ඇති වී තිබූ බව මෙරට ස්‌වාභාවික සම්පත්වල ව්‍යාප්තිය, පුරාවිද්‍යාත්මක සාධක, අභිලේඛනමය තොරතුරු හා දේශාටන වාර්තා සමස්‌තයක්‌ වශයෙන් අධ්‍යයනය කිරීමේදී මනාව පැහැදිලි වෙයි. එමෙන්ම අනුරාධපුර යුගයේ ජාත්‍යන්තර වෙළෙඳාම යන සන්දර්භය තුළ පිහිටා විමර්ශනය කිරීමේදී ස්‌වාභාවික සම්පත් කලාප ද ඒවා හා බැඳුණු නිෂ්පාදන ක්‌ෂේත්‍ර, වෙළඳ මධ්‍යස්‌ථාන හා වරායන් ද හඳුනාගත හැකිය.

මැණික්‌ හා වෙනත් වටිනා පාෂාණ වර්ග

මැණික්‌ වැනි ඉහළ අපනයන වටිනාකමක්‌ සහිත නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ නිපදවීම මෙරට සමුද්‍ර වෙළඳාමේ ප්‍රධාන මධ්‍යස්‌ථානයක්‌ බවට පත්වීමට හේතුකාරක විය . ශ්‍රී ලංකාවේ මැණික්‌ හා වටිනා පාෂාණ වර්ග පිළිබඳව ද නිෂ්පාදන කටයුතු හා බැඳුණු ඇතැම් කරුණු පිළිබඳව ද වංසකථා, අභිලේඛන, දේශාටන වාර්තා, විදේශීය සාහිත්‍ය කෘති හා පුරාවිද්‍යාත්මක සාධක තුළින් කරුණු අනාවරණය වී තිබේ. ලෝකයේ කිසිම ප්‍රදේශයක ශ්‍රී ලංකාවට සමාන භූමි ප්‍රදේශයක්‌ තුළ මෙතරම් පුළුල් විවිධත්වයක්‌ සහිත වටිනා හා අර්ධ වටිනා පාෂාණ වර්ග හමු නොවන අතර මෙරටින් වටිනා හා අර්ධ වටිනා ප්‍රධාන පාෂාණ වර්ග 11 ක්‌ හා උප වර්ග 40 කට වැඩි ප්‍රමාණයක්‌ හමුවෙයි . ශ්‍රී ලංකාවේ මැණික්‌ හමුවන භූමි ප්‍රදේශය වර්ග සැතපුම් 800 ක්‌ පමණ වේ. අවිස්‌සාවේල්ල, බලන්ගොඩ හා අකුරැස්‌ස සම්බන්ධ වන මැණික්‌ ත්‍රිකෝණය මැණික්‌ හමුවන ප්‍රධානතම ප්‍රදේශයයි.

මහාවංසය අනුරාධපුරයට ගිණිකොනදිග යොදුන් හතරක්‌ දුරින් පිහිටි සමන්වැව නම් ප්‍රදේශය මැණික්‌ ලැබෙන ප්‍රදේශයක්‌ බව සඳහන් කර ඇත.

පුබ්බ දක්‌ණ දේසම්හි පුරතො චතු යෝජනෙ

සුමනවාපි ගාමම්හි උට්‌ඨහිංසු මණී බහූ

(මව. 22 පරි. 18 ගාථාව)

විශේෂයෙන්ම රතු හා නිල් මැණික්‌වලට රෝම හා බයිසන්ටයින් යුගවලදී පෙරදිග වෙළඳාමේ ඉතා වැදගත් තැනක්‌ හිමිවිය. ස්‌ට්‍රැබෝ, ප්ලිනි හා “පෙරිප්ලස්‌ ඔෆ් ද එරිත්‍රියන් සී” කෘතියේ කතුවරයා ශ්‍රී ලංකාවේ අපනයන අතර මැණික්‌ පිළිබඳව සඳහන් කරති . මහාවංසයට අනුව අශෝක රජුට දෙවනපෑතිස්‌ රජු යෑවූ තෑගි භාණ්‌ඩ අතර මැණික්‌ ද විය . සීගිරි කුරුටු ගීයක නිල් මැණික්‌ පිළිබඳව සඳහන් වේ. සපරගමු යන නාමය මැණික්‌ යන අරුත සහිත සµsරෝස්‌ යන ග්‍රීක වචනයෙන් ඇති වූ බවට අදහසක්‌ ඉදිරිපත් කර තිබේ. දේවානම්පියතිස්‌ස රාජ්‍ය කාලයේදී කඳුකරයෙන් හමුවූ මැණික්‌ පිළිබඳව දීපවංසය සඳහන් කරයි . ශ්‍රී ලංකාවේ මැණික්‌ උපදින බව අර්ථශාස්‌ත්‍රය සඳහන් කරන අතර මනිමේඛලායි ග්‍රන්ථය ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේ “රත්නදීප” යනුවෙනි . ශ්‍රී ලංකාවේ මැණික්‌ පිළිබඳ පාලනය රජු සතුවූ බව පාහියන් සඳහන් කරයි. සීගිරි කුරුටු ගීවල “මිණි” යන වචනය සඳහන් වේ. මෙරට ජනාවාස කළ සිංහ පුත්‍රයා මැණික්‌ වර්ගයක්‌ දැක මෙහි වාසය ඇරඹූ බව දැක්‌වෙන පුරාවෘත්තයක්‌ පාහියන් විසින් වාර්තා කර ඇත . දෙවන දෙටුතිස්‌ රජුගේ කාලයේදී මෙරට වෙළඳුන් මැණික්‌ ආදී භාණ්‌ඩ රැගෙන බුද්ධගයා ප්‍රදේශයට ගිය බව කාව්‍ය රාජාවලිය සඳහන් කරයි . කොස්‌මස්‌ “හයිසින්ත්” නම් මැණික්‌ වර්ගය ලැබීම ශ්‍රී ලංකාවේ වෙළඳ කටයුතුවලට ඉතා වැදගත් වූ බව පෙන්වාදෙයි .

මූල බ්‍රාහ්මී සෙල්ලිපිවල මැණික්‌ කර්මාන්තකරුවන් පිළිබඳව සඳහන් කර තිබීම ඉතා වැදගත් වේ. ගල්ගේ, ගල්ලෙන විහාරය, දෙමඩඔය, මාම්පිට විහාරය, පනික්‌කන්කුලම, මිහින්තලේ හා කෝන්ගල යන ස්‌ථානවලින් හමුවූ මූල බ්‍රාහ්මී ශිලාලිපි නිදසුන් වශයෙන් දැක්‌විය හැකිය.

“ගපති මණිකර තිශහ ලෙනෙ ශගශ”

කෝන්ගල ශිලාලිපිය

දෙවන සිරිනාග රජුලේ වෙස්‌සගිරි ශිලා ලේඛනය මණිකාර ගමක්‌ පිළිබඳව සඳහන් කරයි. මිහිඳු රජුගේ රඹෑව ශිලාලිපියේ මැණික්‌ ගැන සඳහන් වන අතර එම රජුගේ මිහින්තලා ශිලාලිපියෙන් මැණික්‌කරුවන් පිළිබඳ තොරතුරු අනාවරණය වේ. මෙම සෙල්ලිපිවල සඳහන් තොරතුරු හා ඒවායේ ව්‍යාප්තිය සලකා බැලීමේදී එම ලිපිවල දක්‌වා ඇත්තේ මැණික්‌ කපන්නන් පිළිබඳව බවත් මැණික්‌ කැපීමේ කටයුතු ස්‌ථාගතවීමේදී මැණික්‌වල ව්‍යාප්තිය සැලකිය යුතු බලපෑමක්‌ ඇති කර නොමැති බවත් විශ්වාස කිරීමට පිළිවන.

වටිනා මැණික්‌ ගල් හෝ මැණික්‌ නිර්මාණ අභයගිරියෙන් හමුවී නොමැති වුවද මැණික්‌ වර්ගයට අයත් ඇතැම් ගල් වර්ගවලින් තැනූ නිමි පබළු හා ඔලි රබහ, කහට රබහ, ගෝමේද වැනි මැණික්‌ පවුලේ විවිධ වර්ගයේ කුඩා ගල් කැබලි විශාල ප්‍රමාණයක්‌ ලැබී ඇත. මැණික්‌ වර්ග 15 ක්‌ පමණ අනුරාධපුර කැණීම්වලින් හමුවී තිබේ. අකුරුගොඩ හා අවට ප්‍රදේශයෙන් අමතේස්‌ත, රබහ, නිල් මැණික්‌ වැනි මැණික්‌ වර්ගවලින් තැනූ පබළු සොයාගත හැකිවිය. අකුරුගොඩ සිට සැතපුම් 6 ක්‌ දුරින් පිහිටි අමරවැව ප්‍රදේශයෙන් ද සැතපුම් 3 ක්‌ දුරින් පිහිටි කොචිපාදුනුවෙන් ද මැණික්‌ ඉල්ලම් සොයාගෙන තිබීම උක්‌ත සන්දර්භය තුළ ඉතා වැදගත් වේ. අම්බලන්ගොඩ අසල මිටියාගොඩ ප්‍රදේශයේ චන්ද්‍රකාන්ති පාෂාණ ඉල්ලම් පිහිටා ඇත .

ලෝහමය ඛනිජ තැන්පතු

යපස්‌ හා තඹ ලෝහ නිධි ශ්‍රී ලංකාව තුළ පිහිටා ඇති අතර අතීතයේ එම ලෝහ නිෂ්පාදන කටයුතු සිදුවූ බවට පුරාවිද්‍යාත්මක සාධක හමුවී ඇත. රන් ලෝහය මෙරට ඉතා සුළු වශයෙන් පමණක්‌ හමුවුව ද විදේශීය වාර්තාවල ශ්‍රී ලංකාවේ රන් පිළිබඳව ද මෙරට මූල බ්‍රාහ්මී සෙල්ලිපිවල රන්කරුවන් පිළිබඳව ද සඳහන් වෙයි.

ස්‌ට්‍රැබෝ, ප්ලිනි හා “පෙරිප්ලස්‌ ඔප් ද එරිත්‍රියන් සී” කෘතියේ කතුවරයා මෙරට අපනයන අතර ලෝහ පිළිබඳව සඳහන් කරති. ක්‍රි. ව 1996 රිදීයගම කළ කැණීමෙන් යකඩ නිස්‌සාරණ උදුන් 20 කට වඩා සොයාගෙන තිබේ. ක්‍රි. ව 1995 දී මෙම ස්‌ථානයේ කළ කැණීමෙන් තඹ යබොර (copper slags) හා යබොර (iron slags) හමුවී ඇත. මාන්තායිහි යකඩ නිස්‌සාරණය සිදුකර ඇති බව යබොර හමුවීමෙන් තහවුරු වෙයි. ශ්‍රී ලංකාවේ වානේ නිෂ්පාදනය ද සිදුකළ අතර වානේ සඳහා විශාල වෙළඳපොළක්‌ ඉරානය, මෙසපොතේමියාව හා ඊජිප්තුව යන රටවල පැවතුණි .

අලකොළවැව හා සමනළවැව යකඩ නිස්‌සාරණ ක්‌ෂේත්‍ර පැවති බවට සාධක හමුවී ඇති අතර 99% ක්‌ පිරිසිදු උසස්‌ තත්ත්වයේ වූ මේවායේ නිෂ්පාදන අපනයනය කරන්නට ඇතැයි අනුමාන කිරීමට පිළිවන. කිරි ඔය නිම්නයේ යකඩ නිෂ්පාදන ක්‌ෂේත්‍ර 20 කට වඩා සොයාගෙන තිබේ. ක්‍රි.පූ 2 – ක්‍රි.ව 4 සියවස්‌ කාලයට අයත් වන අලකොළවැව යකඩ කර්මාන්ත ශාලාවේ යකඩ ටොන් 10,000 කට වඩා නිෂ්පාදනය කර ඇත. මෙමගින් දෙශීය අවශ්‍යතාව සම්පූර්ණ කර විදේශයන්ට අපනයනය කළ තත්ත්වයත් පිළිබඳව සිතිය හැකිය. පනිරෙන්ඩාවෙන් සොයාගත් යකඩ උදුන් ක්‍රි.ව 10 රි 12 සියවස්‌වලට අයත් වෙයි . මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම යපස්‌ නිධිය හා වර්තමාන මිනුම් අනුව ආර්ථික වටිනාකමක්‌ සහිත එකම යපස්‌ නිධිය වන ටොන් මිලියන 3 කට වඩා අඩංගු මැග්නටයිට්‌ නිධියක්‌ මෙම ප්‍ර්‍රදේශයේ පිහිටා තිබීමයි. ගොඩවායේ සිදුකළ කැණීමකින් ද යකඩ නිස්‌සාරණ උදුන් 20 කට වඩා හමුවී ඇත.

මඩුගස්‌මුල්ල හා බ්‍රාහ්මණයාගම යන මූල බ්‍රාහ්මී සෙල්ලිපිවල යකඩ කර්මාන්තකරුවන් පිළිබඳව සඳහන් වේ .

“කබර තිශහ වශහ ලෙනෙ ශගශ”

මඩුගස්‌මුල්ල ශිලාලිපිය

ශ්‍රී ලංකාවේ පැරණි ලෝකඩ පිළිම පිළිබඳව කළ විද්‍යාත්මක විශ්ලේෂණ තුළින් ඒවා සේරුවිල තඹ නිධියෙන් ලබාගත් තඹවලින් නිපදවා ඇති බව සනාථ කරගෙන තිබේ. සේරුවිල තඹ නිධිය වර්ග කිලෝමීටර් 10.4 පමණ භූමි ප්‍රදේශයක ව්‍යාප්ත වූවකි. මහවැලි ගඟ යොදාගෙන තඹ ලෝහ පස්‌ මෙන්ම නිෂ්පාදන ද ගෝකණ්‌ණ වරායට පහසුවෙන් ප්‍රවාහනය කිරීමේ ශක්‍යතාවය පැවතුණි. මහාවංසය මහවැලි ගඟෙන් එතෙර තඹවිටිගම තඹ ලෝහ නිධියක්‌ වූ බව සඳහන් කරයි.

පුරා පාචීන පස්‌සම්හි සත්ත යෝජන මත්ථකෙ

ගඞගා පාරෙ තම්බපිට්‌ඨෙ තම්බ ලෝහං සමුට්‌ඨහි

(මව. 28 පරි. 16 ගාථාව)

තඹ ලෝහ කර්මාන්තකරුවෙකු පිළිබඳව පෙරියපුලියන්කුලම ශිලාලිපියක සඳහන් වේ.

“තඹකර තිශ පුත රොනිගුතශ ලෙණෙ”

ඉන්දියාවට වඩා මෙරට රන් නිපදවූ බව මෙගස්‌තිනීස්‌ ප්‍රකාශ කරයි . රන් කාසි නිෂ්පාදනාගාරයක්‌ පිළිබඳ සාධක අභයගිරි විහාරයෙන් හමුවී ඇත. ශ්‍රී ලංකාවේ ස්‌වාභාවිකව රන් හමුවන්නේ ඉතා සුළු වශයෙනි. රන් කර්මාන්තකරුවන් දෙදෙනතු පිළිබඳව මණ්‌ඩගල හා වෙස්‌සගිරිය යන ස්‌ථානවල පිහිටි මූල බ්‍රාහ්මී ශිලාලිපි දෙකක සඳහන් වේ.

“තලදර නගය පුත දෙවහ ලෙණෙ ශගශ”

වෙස්‌සගිරි ශිලාලිපිය

සද්ධාතිස්‌ස රජුගේ කාලයේදී රත්රන් ගෙන ඒමට ස්‌වර්ණභූමියට හෙවත් බුරුමයට ගිය පුද්ගලයෙකු පිළිබඳව සීහලවත්ථුප්පකරණය සඳහන් කරයි. මෙම තොරතුරු අනුව විදේශ රටවලින් රන් ආනයනය කර ශ්‍රී ලංකාවේදී නිෂ්පාදන කටයුතු සිදුකරන්නට ඇතැයි අනුමාන කිරීමට පිළිවන. මහාවංසය වාර්තා කරන පරිදි අම්බට්‌ඨකෝල නම් ලෙනක රිදී නිධියක්‌ පිහිටා තිබිණි.

මුතු

මුතු ශ්‍රී ලංකාවේ සමුද්‍ර වෙළඳාමේ දියුණුවට හේතුකාරක වූ ඉහළ වටිනාකමක්‌ සහිත නිෂ්පාදනයකි. ස්‌ට්‍රැබෝ, ප්ලිනි හා “පෙරිප්ලස්‌ ඔෆ් ද එරිත්‍රියන් සී” කෘතියේ කතුවරයා මෙරට අපනයන භාණ්‌ඩ අතර මුතු පිළිබඳව සඳහන් කරති. ප්ලිනි ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රධාන මුතු නිෂ්පාදකයා බව වැඩිදුරටත් ප්‍රකාශ කරන අතර සිංහල රජු යුධීශ්වර රජුට මුතු යෑවූ බව මහා භාරතය තුළින් අනාවරණය වේ. මන්නාරම අසල පිහිටා ඇති මුතුපරය මහාතිත්ථ වරායේ වෙළඳ කටයුතු සම්බන්ධයෙන් වැදගත් වූ බව පෙන්වාදී තිබේ. ග්‍රීක, සංස්‌කෘත මෙන්ම දෙමළ මූලාශ්‍රවල ද මන්නාරම ආශ්‍රිත මුතු වෙළඳාම පිළිබඳව සඳහන්වීමෙන් එහි වැදගත්කම තහවුරු වෙයි.

දේවානම්පියතිස්‌ස රජුගේ කාලයේදී මෙරට වෙරළට ගසාගෙන ආ මුතු වර්ග අටක්‌ පිළිබඳව සඳහන් වේ. මුතුහර පිළිබඳව සීගිරි කුරුටු ගීවල දක්‌වා ඇත. කාව්‍ය රාජාවලියට අනුව දෙවන දෙටුතිස්‌ රජුගේ කාලයේදී එක්‌ වෙළෙන්දෙකු මුතු ඇතුළු වෙළඳ භාණ්‌ඩ රැගෙන ඉන්දියාවට වෙළඳාමට ගිය බව අනාවරණය වේ. රජු මුතුපරවල ආරක්‌ෂාව සඳහා මිනිසුන් යෙදවූ බවත් නිෂ්පාදිත මුතුවලින් දහයෙන් තුනක්‌ බද්දක්‌ වශයෙන් අය කළ බවත් පාහියන් වාර්තා කරයි . හියුං සාංගේ වාර්තාවේ ද මෙරට මුහුදු වෙරළේ බොක්‌කකින් මුතු ලැබුණු බව සඳහන් කර ඇත.

කුළු බඩු වර්ග

කුරුඳු, ගම්මිරිස්‌, කරාබු නැටි වැනි කුළුබඩු මෙරට විදේශ වෙළඳ කටයුතුවලදී ඉතා වැදගත් විය. ක්‍රිස්‌තු පූර්ව අවධියේ ශ්‍රී ලංකාවෙන් පලස්‌තීනයට කුරුඳු ආනයනය කළ බව බයිබලයේ සඳහන් වෙයි. කුළුබඩු වෙළෙඳාමේ නිරත වූ වෙළඳ ශ්‍රේණියකට අයත් මූල බ්‍රාහ්මී අක්‌ෂර සහිත කානීලියන් මුද්‍රdවක්‌ අකුරුගොඩ ප්‍රදේශයෙන් හමුවී ඇත .

කුළුබඩු පැළෑටි අතරින් කුරුඳු පැළයේ ජන්ම භූමිය ශ්‍රී ලංකාවයි. මෙය ශ්‍රී ලංකාවේ නිරිතදිග ප්‍රදේශයේ ඉතා හොඳින් වැවෙන ශාක විශේෂයකි. මේ ප්‍රදේශයේ සියලුම ගංගාවල අතීතයේ යාත්‍රා ගමන් කරවීමේ හැකියාව පැවති අතර එම ගංගාවල මෝය ආශ්‍රිතව වරායන් පිහිටා තිබිණි. මෙම නිසා කුළුබඩු නිෂ්පාදන රට අභ්‍යන්තරයේ සිට පහසුවෙන් වරායන්ට ප්‍රවාහනය කිරීමේ හැකියාව පැවති බව පැහැදිලි වේ.

වෙනත් ශාක හා ශාකමය නිෂ්පාදන

කුළුබඩු හැරුණුවිට ශ්‍රී ලංකාවේ ඇතැම් ශාක වර්ග හා ශාකමය නිෂ්පාදන අපනයන භාණ්‌ඩ වශයෙන් හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු සඳහා යටිතල පහසුකම් සැපයීමට අවශ්‍ය දෑ වශයෙන් ඉතා වැදගත් විය. මෙරට අපනයන භාණ්‌ඩ අතර වටිනා දැව වර්ග ද වූ බවට සාධක පවතී. ටොලමි ශ්‍රී ලංකාවේ සහල්a, ඉඟුරු හා මී පැණි පිළිබඳ වෙළඳාම යන සන්දර්භය තුළදී සඳහන් කළ ද ඒවා අපනයන භාණ්‌ඩ බව සෘජුව සඳහන් නොකරයි .

නාවිකයන්ට අත්‍යවශ්‍ය පහසුකම් සැපයීම, නැව් හා යාත්‍රා තැනීමට අවශ්‍ය දැව සැපයීම මෙරටදී සිදුවිය. විශේෂයෙන්ම මෙරට නිරිතදිග තෙත් කලාපයේ වැවෙන දෙල් (Artocarpus nobolis) , දොඹ (Calophyllum inophyllum) හා කොස්‌ දැව ද පොල් කෙඳි ද නැව් තැනීම හා අලුත්වැඩියා කිරීම වැනි කටයුතුවලදී වැදගත් වූ බව පෙන්වාදී තිබේ. නැව්වලට විශාල වශයෙන් පොල් කෙඳිවලින් තැනූ කඹ අවශ්‍ය වූ අතර වරාය හා නෞකාවල රාත්‍රී කටයුතු සඳහා පොල් තෙල් අවශ්‍ය විය. මහාදාඨික මහානාග රජුගේ (ක්‍රි. ව 9-21) මිහින්තලා ශිලාලිපිය හා ක්‍රි.ව 4-5 සියවස්‌වලට අයත් ඇතැම් ශිලාලිපිවල පොල් වගාව පිළිබඳව සඳහන්වීම තුළින් ප්‍රකට වන ආකාරයට ක්‍රි.ව මුල් සියවස්‌වල සිට එම වගාව පිළිබඳ තොරතුරු වැඩිවීමට හේතුව වරාය හා නෞකා සම්බන්ධ කටයුතු නිසා පොල් වගාව ආශ්‍රිත නිෂ්පාදනවලට ඉල්ලුමක්‌ ඇතිවීම බව නිගමනය කිරීමට පිළිවන. රෝම ජාතික ඊලියන් ශ්‍රී ලංකාවේ වනාන්තරවලින් කපන ලද ගස්‌වලින් තැනූ යාත්‍රාවල කාලිංගයට ඇතුන් යෑවූ බව සඳහන් කරයි .

ශ්‍රී ලංකාවේ නිරිතදිග තෙත් කලාපයේ වැවෙන “නාවා” නම් ගසක්‌ ඇත. පාලි භාෂාවෙන් “නාවා” යන්නෙහි අරුත නැව යන්නයි. මෙම ශාකයේ දැව බරින් අඩු අතර මෙමගින් ශක්‌තිමත් පට්‌ටා ලබාගැනීමට පිළිවන.

ක්‍රි. ව දෙවන සියවසට අයත් පටට්‌ටිනිප්පාලෙයි දකුණු ඉන්දීය ග්‍රන්ථය මෙරටින් ආහාර ද්‍රව්‍ය අපනයනය කළ බව සඳහන් කරයි .

අලි ඇතුන් හා ඇත් දළ

අලි ඇතුන් හා ඇත් දළ ඉතා ඉහළ අපනයන වටිනාකමක්‌ සහිත වෙළඳ භාණ්‌ඩ වශයෙන් ජාත්‍යන්තර වෙළඳ කටයුතුවලදී ඉතා වැදගත් විය. ස්‌ට්‍රැබෝ, ප්ලිනි හා “පෙරිප්ලස්‌ ඔෆ් ද එරිත්‍රියන් සී” කෘතියේ කතුවරයා මෙරට අපනයන අතර ඇත්දළ පිළිබඳව සඳහන් කරති . ශ්‍රී ලංකාවේ ඇතුන් ඉන්දියාවේ ඇතුන්ට වඩා විශාල බවත් ශක්‌තිමත් බවත් බුද්ධිමත් බවත් ඊලියන් සඳහන් කරයි.

අසල වනයේ ඇතුන් සිටීම මාතොට වරායේ වෙළඳ කටයුතු සම්බන්ධයෙන් වැදගත් වී තිබේ. ක්‍රි. ව 1001 දී ඝෂ්නි මහමුද්ගේ ආක්‍රමණයට විරුද්ධව සටන් කළ උතුරු ඉන්දීය හමුදා අතර වූ ඇත් හමුදාවේ මෙරට ඇතුන් සිටි බව සඳහන් වේ. මෙරට තැනූ යාත්‍රාවල පටවා ඉන්දියාවට ඇතුන් යෑවූ බව මෙගස්‌තිනීස්‌ වාර්තා කරයි. කොස්‌මස්‌ට අනුව විදේශ වෙළඳ කටයුතුවලදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්‌ඩය වූයේ ඇතුන් ය. මෙරට ඇතුන් සඳහා ඝන අඩි ප්‍රමාණයට අනුව මුදල් ගෙවූ බවත් ඇතැම් විට රියනක මිල කාසි 50 ක්‌ හෝ 100 ක්‌ හෝ ඊට වඩා වැඩි විය හැකි බවත් කොස්‌මස්‌ගේ වාර්තාවල වැඩිදුරටත් සඳහන් කර ඇත.

අනුරාධපුර යුගයට අයත් ඇත්දළ කැටයම් අනුරාධපුරය, ඡේතවනය හා මාන්තායි යන ස්‌ථානවලින් හමුවී ඇති අතර ඒවා ක්‍රි. ව 3 – 6 සියවස්‌වලට කාලනිර්ණය කර තිබේ. ඇත්දළ කැටයම්කරුවන් පිළිබඳව වංසකතාවල සඳහන් වෙයි. වසභ රජුගේ මහරත්මලේ ශිලාලේඛනය අර්ථනිරූපණය කරන ඇතැම්හු එහි “හතිපති” නම් ඇතුන් ඇල්ලීම සම්බන්ධ බද්දක්‌ ගැන සඳහන් වන බව ප්‍රකාශ කරති.

වෙනත් සතුන් හා සත්ත්ව නිෂ්පාදන

කැස්‌බෑ ලෙලි හා සක්‌ බෙල්ලන් ආශ්‍ර්‍රsත නිෂ්පාදන යනාදිය ද ශ්‍රී ලංකාවේ විදේශ වෙළඳාම හා බැඳුණු නිෂ්පාදන වශයෙන් ඉතා වැදගත් විය. කැස්‌බෑ ලෙලි ඉහළ අපනයන වටිනාකමක්‌ සහිත ද්‍රව්‍යයක්‌ බව පෙන්වාදී තිබේ. ස්‌ට්‍රැබෝ, ප්ලිනි හා “පෙරිප්ලස්‌ ඔෆ් ද එරිත්‍රියන් සී” කෘතියේ කතුවරයා මෙරට අපනයන අතර කැස්‌බෑ ලෙලි පිළිබඳව සඳහන් කරති. අකුරුගොඩ ප්‍රදේශයෙන් කැස්‌බෑවෙකුගේ හැඩයට සමාන ලෝහවලින් තැනූ අක්‌ෂර සහිත මුද්‍ර හෝ කාසි කිහිපයක්‌ සොයාගෙන ඇත. ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදේ විශේෂයෙන්ම දකුණු වෙරළබඩ ප්‍රදේශය ආශ්‍රිතව කැස්‌බෑ විශේෂ තුනක්‌ පමණ ජීවත්වෙති.

මන්නාරම් බොක්‌කේ හා පෝක්‌ සමුද්‍ර සන්ධියේ නොගැඹුරු ජලයේ විශාල වශයෙන් සක්‌ බෙල්ලන් දක්‌නට ලැබේ. මේවා ජාත්‍යන්තර වෙළඳාමේදී ප්‍රධාන වෙළඳ භාණ්‌ඩ විශේෂයක්‌ වන්නට ඇති බව පෙන්වාදී ඇත. සක්‌ බෙල්ලන්ගේ කටුවලින් තැනූ වළලු මාන්තායි කැණීම්වලින් හමුවිය. මෙම නගරයේ විශාල වශයෙන් මත්ස්‍ය පරිභෝජනය සිදුවී ඇති බව විශාල මත්ස්‍ය අවශේෂ ප්‍රමාණයක්‌ හමුවී තිබීමෙන් පැහැදිලි වේ. නැව්වලට ආහාර සැපයීමේදී හා වරාය නගරවල වෙළඳ ප්‍රජාවට හා සෙසු ජනතාවට ආහාර සැපයීමේදී මත්ස්‍ය සම්පත ඉතා වැදගත් වූ බව සිතිය හැකිය. මන්නාරම් බොක්‌කේ නොගැඹුරු ජලයේ මාළු ඉවුරක්‌ දක්‌නට ඇති අතර පෝක්‌ බොක්‌ක, පේදුරු ඉවුර, හම්බන්තොට යන ස්‌ථානවල ද විශාල වශයෙන් මසුන් ජීවත් වන මත්ස්‍ය ඉවුරු දක්‌නට ලැබේ. ටොලමි මෙරට නිෂ්පාදන අතර කොරල් පිළිබඳව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ස්‌වාභාවික සම්පත් හා පුරාණ නිෂ්පාදන කර්මාන්ත පිළිබඳව අනුරාධපුර යුගයේ විදේශ වෙළඳාම යන සන්දර්භය තුළ විමසා බැලීමේදී ස්‌වාභාවික සම්පත් කලාප, නිෂ්පාදන කර්මාන්ත හා වරාය අතර සම්බන්ධතාවක්‌ ගොඩනගාගැනීමට පිළිවන.

කලාපය ස්‌වාභාවික සම්පත් නිෂ්පාදන කර්මාන්ත වරාය

යාපනය අර්ධද්වීප වීදුරු වැලි, සක්‌බෙල්ලන්, දඹකොළ පටුන,

කලාපය මත්ස්‍ය සම්පත්, ඌරාතොට

හුණු ගල්, කොරල්

මන්නාරම කලාපය මුතු, සක්‌බෙල්ලන්, යකඩ, වීදුරු, පාෂාණමය මහාතිත්ථ

මත්ස්‍ය සම්පත්, කොරල්, පබළු, සක්‌බෙලි වළලු

අලි ඇතුන්

කලා ඔය කලාපය මුතු, කොරල්, අලි ඇතුන්? වීදුරු (ගිරිබාව), පබළු උරුවේල

(ගිරිබාව)

දැදුරු ඔය කලාපය මැග්නටයිට්‌ යකඩ සල්වත්තොට

(පනිරෙන්ඩාව)

කැලණිගඟ කලාපය කුළුබඩු, රන් යකඩ (මල්වාන) කැලණිය

(ඉතා සුළු වශයෙන්)

අලි ඇතුන්

කළු ගඟ කලාපය මැණික්‌, කුළුබඩු කාලතිත්ථ

වලවේ ගඟ කලාපය අලි ඇතුන් යකඩ (ගොඩවාය හා ගොඩපවත

රිදීයගම), පබළු (රිදීයගම)

කිරිඳි ඔය කලාපය මැණික්‌ (අමරවැව හා යකඩ (අකුරුගොඩ) පබළු කිරින්ද

කොචිපදුනු) , සිප්පි නිධි, (අකුරුගොඩ)

අලි ඇතුන්

මහවැලි ගඟ කලාපය තඹ (සේරුවිල), අලි ඇතුන්a ගෝකණ්‌ණ

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවලට විදේශ වෙළඳපොළක්‌ ඇතිවීමට හේතු

ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ මධ්‍යගතව පිහිටා තිබීම හා පෙර අපර දෙදිග මුහුදු සේද මාර්ගයේ කේන්ද්‍රස්‌ථානයක පිහිටා තිබීම මෙරට නිෂ්පාදනවලට විදේශ වෙළඳපොළක්‌ ඇතිවීමට බලපෑ එක්‌ සාධකයකි. එයට අමතරව ජාත්‍යන්තර වෙළඳ කටයුතුවල ඇති වූ වර්ධනයන්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවල උසස්‌ තත්ත්වය සම්බන්ධයෙන් ලබා තිබූ කීර්තිය මෙන්ම විදේශ දූත ගමන් වැනි කරුණු ද ඒ කෙරෙහි බලපෑ බව නිගමනය කිරීමට පිළිවන.

මධ්‍යධරණී ප්‍රදේශවල වෙළඳාමේ ඇති වූ දියුණුව මෙරට නිෂ්පාදනවලට නව වෙළඳපොළක්‌ ඇතිවීමට හේතුකාරක විය. පිනීසියන්වරුන්ගේ වෙළඳ කටයුතුවල වර්ධනය හා ඉන්දීය සාගරයේ වෙළඳාමේ දියුණුව අතර සම්බන්ධයක්‌ දක්‌නට ලැබේ. මෙම තත්ත්වය බාහිර වෙළඳ ජාලයක්‌ මතුවීමටත් සම්පත් ප්‍රයෝජනයට ගැනීම සඳහා වෙරළාශ්‍රිතව, ඛනිජ සම්පත් ආශ්‍රිතව හා වෙනත් වටිනා ස්‌වාභාවික සම්පත් ආශ්‍රිතව ජනාවාස පිහිටුවීමට හා පැතිරීයැමට හේතුකාරක විය.

රෝමවරුන් පෙරදිග ප්‍රදේශවලට සමුද්‍ර වෙළඳ ගමන් ආරම්භ කළ ස්‌ථාන ක්‍රි.ව 4 වන සියවසේ පමණ සිට රතු මුහුදේ සිට අරාබි මුහුදට මාරුවීමත් නෞකා තැනීමේ තාක්‌ෂණයේ දියුණුව සමග නෞකාවල තත්ත්වය උසස්‌වීමත් රෝමවරුන් මෙරට සමග සෘජු වෙළඳ සම්බන්ධතා ඇතිකර ගැනීමට බලපෑවේය. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා වූ වෙළඳපොළ වඩාත් පුළුල්වීමට හේතුකාරක වූ බව සිතිය හැකිය.

මෙරට ඇතැම් නිෂ්පාදනවල උසස්‌ තත්ත්වය පිළිබඳව පුරාණ ලෝකය තුළ ලබා තිබූ ප්‍රසිද්ධිය ප්‍රස්‌තුත කරුණ සම්බන්ධයෙන් බලපෑ තවත් වැදගත් සාධකයකි. ග්‍රීක ලේඛකයන් දසදෙනකු පමණ ශ්‍රී ලංකාව පිළිබඳව සඳහන් කිරීමට පසුබිම් වූ ප්‍රධාන සාධකයක්‌ ලෙස මෙය හඳුනාගත හැකිය. ඉන්දියාවේ ඇතුන්ට වඩා මෙරට ඇතුන් විශාල බවත් බුද්ධිමත් බවත් ඊලියන් ‘History of Animals’ නම් කෘතියේදී සඳහන් කරයි. ඔහු අනුරාධපුර යුගයට සමකාලීනව ජීවත් වූ ග්‍රීක ලේඛකයෙකි. ශ්‍රී ලංකාවේ මුqතු විදේශ වෙළඳපොළවලදී ඉතා ඉහළ කීර්තියක්‌ ලබා තිබූ අතර ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රධාන මුතු නිෂ්පාදකා බව ප්ලිනි විසින් වාර්තා කර ඇත . පුරාණ ලෝකයේ ජාත්‍යන්තර වෙළඳ කටයුතුවලදී ඉතා වැදගත් වූ ඇතැම් නිෂ්පාදන ඉන්දියාවට වඩා මෙරට තුළ නිපදවූ බව ඔනෙසික්‍රිටස්‌ විසින් සඳහන් කර තිබේ. ඉන්දියාවට වඩා රන් හා පබළු ශ්‍රී ලංකාවේ තැනූ බව මෙගස්‌තිනීස්‌ වාර්තා කරයි. මැණික්‌ නිෂ්පාදන කටයුතු සිදුකළ ඉන්දියාවේ රචිත මනිමේකලායි නම් ද්‍රවිඩ ග්‍රන්ථය ශ්‍රී ලංකාව රත්නදීප ලෙස හඳුන්වාදී තිබීම ද මෙම සන්දර්භය තුළ වැදගත් වේ .

විදේශ රටවලට දූතයන් යවා වෙළඳ සම්බන්ධතා ගොඩනගා ගැනීමට ඇතැම් රජවරුන් දැරූ උත්සාහයන් ද මෙරට නිෂ්පාදන සඳහා විදේශ වෙළඳපොළක්‌ ඇතිවීම විෂයයෙහි බලපාන්නට ඇත. ප්ලිනි සඳහන් කරන පරිදි ක්‌ලෝඩියස්‌ රජුගේ කාලයේදී රෝමයට ගිය ශ්‍රී ලාංකීය දූත කණ්‌ඩායම සිව්දෙනකුගෙන් යුක්‌ත වූ අතර එහි නායකයා රචියා යනුවෙන් හඳුන්වා තිබේ.