ආර්ථිකයට අලුත් මුදල්!

ආර්ථිකයට අලුත් මුදල්!

සාමාන්‍යයෙන් වාර්ෂිකව රටේ ව්‍යවහාර මුදල් (කාසි හා නෝට්‌ටු) ප්‍රමාණය වැඩි වීමට බලපාන මූලික සාධක දෙක වන්නේ උද්ධමනය සහ ආර්ථික වර්ධනයයි. උද්ධමනය නිසා කිසියම් නිශ්චිත භාණ්‌ඩ හා සේවා ප්‍රමාණයක්‌ මිලදී ගැනීමට වැය කළ යුතු මුදල් ප්‍රමාණය ඉහළ යයි. එසේම ආර්ථික වර්ධනය නිසා වැඩි වන භාණ්‌ඩ හා සේවා ප්‍රමාණය හුවමාරු වීම සඳහා පෙරට වඩා වැඩි මුදල් ප්‍රමාණයක්‌ ද අවශ්‍ය වේ. ඒ නිසා මෙලෙස රටක ආර්ථික කටයුතුවල සිදුවන ප්‍රසාරණයට සාපේක්‍ෂව මහජන සංසරණය සඳහා වැඩි මුදල් ප්‍රමාණයක්‌ නිකුත් කිරීම අවශ්‍ය දෙයකි. එහෙත් ආර්ථික වර්ධනයට හා උද්ධමනයට සමගාමී නොවන ලෙස අතාර්කිකව ව්‍යවහාර මුදල් නිකුත් කළහොත් එය අනිවාර්යයෙන්ම ජනතාවගේ ඉල්ලුම ඉහළ ගොස්‌ තව තවත් මිල මට්‌ටම් ඉහළ යැමටත් ඒ තුළින් උද්ධමනය ඉහළ යැමටත් නිසැක වශයෙන් ම හේතු වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව මුදල් නෝට්‌ටු කාණ්‌ඩයක්‌ පසුගියදා මහජන සංසරණය (භාවිතය) සඳහා නිකුත් කළේය. මේ නෝට්‌ටු මාලාවට ඉතිහාසයේ ප්‍රථම වතාවට රු. 5000 ක නෝට්‌ටුවක්‌ ද ඇතුළත්ය. ඒ අනුව රු. 20, රු. 50, රු. 100, රු. 500, රු. 1000 සහ රු. 5000 වශයෙන් නව නෝට්‌ටු හයක්‌ දැන් නිකුත්ව තිබේ. මහ බැංකුව විසින් මෙසේ අලුත් මුදල් නෝට්‌ටු නිකුත් කිරීම පිළිබඳ මහජනතාවගෙන් නොයෙකුත් අදහස්‌ පළවෙමින් තිබේ. පොදුවේ ගත් විට අලුතින් මුදල් නෝට්‌ටු අච්චු ගැසීම පිළිබඳ මහජනතාව තුළ ඇත්තේ අහිතකර චිත්‍රයකි. ඒ නිසා මුදල් අච්චු ගැසීම යන්න අප නිරවුල් ව පැහැදිලි කරගත යුතුව තිබේ. ඒ අනුව මේ ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ අලුතින් නිකුත් වූ නෝට්‌ටු පිළිබඳ සහ “මුදල් අච්චු ගැසීම” යන කාරණය පිළිබඳවය.

මුදල් යනු අපට නැතිවම බැරි අත්‍යවශ්‍ය දෙයකි. අපේ ජනවහරේ “සල්ලි, දෙයන්ගෙ මල්ලි” යනුවෙන් පැරැණි කියමනක්‌ තිබේ. සල්ලි යනු දෙවියන් තරමටම වැදගත් සහ ගෞරව කළ යුතු දෙයක්‌ ය යන අදහස මේ කියමන තුළ තිබෙනවා විය හැකිය. සල්ලිවලින් කළ නොහැකි දේවල් ඕනෑ තරම් තිබේ. එහෙත් ඇතැම් අය කියන්නේ “සල්ලි වලින් කරන්න බැරි දෙයක්‌ නැහැ” කියාය. ඇත්තය. සියලුම දේ නොවුණත් සල්ලිවලින් බොහෝ දේ කළ හැකිය. මුදල් නොමැතිව කිසි දෙයක්‌ කළ නොහැකි තරම්ය. සමහරු සිතන්නේ සල්ලිවලට මෙන්ම දෙවියන්ට ද නොකළ හැකි දෙයක්‌ නැති බවය. සල්ලි දෙයියන්ගේ මල්ලි කියන්නේ ඒ නිසාද විය හැකිය. සල්ලිවලට මෙන්ම දෙවියන්ටද කළ නොහැකි දේවල් බොහොමයක්‌ තිබුණත්, සල්ලි යනු බොහෝ දේ කළ හැකි සහ ආර්ථිකයක ක්‍රියාකාරීත්වයට ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්‌ වන බව නම් ඉතා පැහැදිලි කරුණකි.

පසුගියදා නිකුත් වූයේ ශ්‍රී ලංකාවේ 11 වන මුදල් නෝට්‌ටු කාණ්‌ඩයයි. මෙහි ප්‍රථම නෝට්‌ටු කට්‌ටලය මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් පසුගිය පෙබරවාරි 04 වැනිදා බුත්තල පැවැති දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේදී ජනාධිපතිවරයාට පිළිගන්වන ලදී. “සංවර්ධනය, සෞභාග්‍යය සහ ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන්” යන්න මෙම නව නෝට්‌ටු කාණ්‌ඩයේ තේමාවයි. දැනට සංසරණයේ පවතින මුදල් නෝට්‌ටු සහ නව නෝට්‌ටු අතර ඇති ප්‍රධාන වෙනස වන්නේ නෝට්‌ටුවල ප්‍රමාණයයි. එනම් නව නෝට්‌ටු ප්‍රමාණයෙන් කුඩාය. නව නෝට්‌ටු හයම සමාන පළලින් යුතු වන අතර ඒවායේ දිග, කුඩාම වටිනාකමින් යුත් රු. 20 ක නෝට්‌ටුවේ සිට ඉහළම වටිනාකමකින් යුත් රු. 5000 නෝට්‌ටුව දක්‌වා පිළිවෙළින් මි. මීටර් 5 බැගින් වැඩි වේ.

මහජනතාව අතට යනතෙක්‌
මහ බැංකුවේ ඇති කාසි හා නෝට්‌ටු
මුදල් ලෙස සලකන්නේ නෑ
ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් අධිකාරී සී. පී. ඒ. කරුණාතිලකශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව මුදල් නෝට්‌ටු කාණ්‌ඩයක්‌ මහජන සංසරණය සඳහා නිකුත් කළේය. මේ නව නෝට්‌ටු නිකුත් කිරීම ගැන ජන සමාජය තුළ නොයෙකුත් කතාබහ සිදුවෙමින් තිබේ. මේ නිසා අලුත් නෝට්‌ටු අච්චු ගැසීම ගැන අපි ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් අධිකාරී සී. පී. ඒ. කරුණාතිලක මහතාගෙන් කරුණු විමසුවෙමු. පහතින් සටහන් වන්නේ “දිවයින ඉරිදා සංග්‍රහය” ඇසූ ප්‍රශ්නවලට ඒ මහතා ලබා දුන් පිළිතුරුයි.

ප්‍රශ්නය – “මුදල් අච්චු ගැසීම” යනුවෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ද?

පිළිතුර- “මුදල් අච්චු ගැසීම” කියන වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ගත්තොත් ශ්‍රී ලංකා මහ බැංකුව තමයි ලංකාවට අවශ්‍ය මුදල් නිකුත් කිරීමේ ඒකාධිකාරී බලය තියෙන ආයතනය. ඒ නිසා මූල්‍ය අංශයේ ස්‌ථායිතාව ආරක්‍ෂා කිරීමට නම්, ඒ මුල්‍ය අංශයේ කටයුතුවලට අවශ්‍ය මුදල් අඛණ්‌ඩව, අවශ්‍යතාව අනුව ඒ වගේම යම් කිසි ගුණාත්මකභාවයකින් යුක්‌තව නිකුත් කිරීමට මහ බැංකුවට වගකීමක්‌ තියෙනවා.

ඕනෑම රටක මුදල් පමණක්‌ නොව, භාණ්‌ඩ හා සේවා සැපයීම සම්බන්ධයෙන් වුණත් අපට කල් තියා දකින්න බැරි විවිධ බාධක ඇති වෙන්න පුළුවන්. ඒ අවස්‌ථාවන්a මගහරින්න අපි කරන්නෙ තොග තියාගන්න එකනෙ. ඒ වගේම මහ බැංකුව අඩු තරමෙ ඉදිරි වර්ෂයටවත් අවශ්‍ය මුදල් සම්පාදනය කර ගන්නව. ඒ ඒ අවස්‌ථාවලදී වෙළෙඳපොළේ මුදල් අච්චු ගහන්න යන වියදම් ඇතුළු සියලු කරුණු සලකල බලල මහ බැංකුව මුදල් අච්චු ගහනව. මෙන්න මේක තමයි මහ බැංකුව මුදල් අච්චු ගහනව කියන එකේ තේරුම.

මහජනතාව නොදන්නා තව දෙයක්‌ තියෙනව. එනම් මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව යටතේ ඇති සුරක්‍ෂිතාගාරවල තිබෙන කාසි හා නෝට්‌ටු මුදල් නෙවෙයි. හේතුව මුදලේ තියෙනව විශේෂ ගුණයක්‌. මහ බැංකුව විසින් නිකුත් කරන ලද මුදල් අපි මහ බැංකුවේ දෘෂ්‍ය වගකීම් ලෙස හඳුන්වනවා. මහ බැංකුව අච්චු ගහන මුදල් මහ බැංකුවේ වගකීමක්‌ වෙන්නේ ඒවා මහ බැංකුවෙන් පිටතට ගියොත් පමණයි. ඒ නිසා මහ බැංකුව ඇතුළෙ මුදල් කොපමණ තිබුණත් ඒවා රටේ මුදල් සැපයුමට කිසිම සම්බන්ධයක්‌ නෑ.

ප්‍රශ්නය –

එසේ නම් මුදල් සැපයුම කියන්නේ කුමක්‌ද?

පිළිතුර –

මේ සඳහා අපි මූලික වශයෙන් ම මුදල් සැපයුමට සම්බන්ධ වන සාධක මොනවාද යන්න දැනගත යුතුයි. එහිදී මහ බැංකුවේ ශේෂ පත්‍රය ගත්තොත් එහි වත්කම් සහ වගකීම් තියෙනවා. මහ බැංකුව නිකුත් කරපු මුදල් අයත් වන්නේ වගකීම්වලට. මොන ආකාරයකින් හෝ මහ බැංකුවේ වත්කම් වැඩි වුණොත් ඒ අනුව වගකීම් ඉහළ යනවා. මහ බැංකුව විදේශ විනිමය මිලදී ගැනීමෙන් විදේශ වත්කම් වැඩි කරගන්න පුළුවන්. විනිමය අනුපාතය හා ලබාගන්න වත්කම් ප්‍රමාණය අනුව ඒ හා සමාන මුදල් ප්‍රමාණයක්‌ ආර්ථිකයට යනව. ඊළඟ කාරණය දේශීය වත්කම්. මහ බැංකුවට පුළුවන් රජයට ණය දෙන්න. එහෙම රජයට ණය දුන්නොත්, ඒ අවස්‌ථාවේදී රජයේ ණය උපකරණ වන භාණ්‌ඩාගාර බිල්පත් හා බැඳුම්කර මහ බැංකුවේ වත්කම් බවට පත් වෙනව. ඒ හා සමාන මුදල් ප්‍රමාණයක්‌ රජයට යනව.

මෙහිදී තවත් කිවයුතු දෙයක්‌ වන්නේ මහ බැංකුවට බෑ කිසිම සීමාවකින් තොරව රජයට ණය දෙන්න. අදාළ වසරේ රජයේ ඇස්‌තමේන්තු ගත ආදායමින් සියයට 10 ක්‌ පමණයි රජයට ණය දෙන්න පුළුවන්කම තියෙන්නේ. මීළඟට මුදල් කියන දේ වඩා පුළුල් අර්ථයෙන් ගත්තොත් ගනුදෙනුවලට සම්බන්ධ වෙන්නේ මහ බැංකුව නිකුත් කරන ව්‍යවහාර මුදල් ප්‍රමාණය පමණක්‌ නොවෙයි. එනම් වාණිජ බැංකු විසින් කරන ණය මැවීමත් මේ සඳහා සම්බන්ධ වෙනවා. වාණිජ බැංකුවල ණය මැවීමේ ක්‍රියාවලිය අනුව කෙතරම් ණය සඳහා ඉල්ලුමක්‌ පවතිනවද, ඒ අවස්‌ථාවේදී වාණිජ බැංකුවලට මහ බැංකුව විසින් පනවල තියෙන නීතිරීති මොනවාද, ඒ වගේම වාණිජ බැංකු තම අනාගත සුරක්‍ෂිතතාව වෙනුවෙන් තියා ගන්නා සංචිත කොපමණ ද යන සියලු කරුණු මේ සඳහා බලපානව. මෙය ඉතාමත් සංකීර්ණ හා පුළුල් ක්‍රියාවලියක්‌. ඒ නිසා මහ බැංකුව මුදල් අච්චු ගැසීම කියන දේ කිසිසේත්ම රටේ මුදල් සැපයුමට බලපාන්නේ නෑ ඒවා මුදල් බවට පත්වන තාක්‌කල්.

ප්‍රශ්නය – කලින් තිබූ මුදල් ප්‍රමාණයට වඩා වැඩි මුදල් ප්‍රමාණයක්‌ දැන් ආර්ථිකයට අවශ්‍ය වන්නේ ඇයි?

පිළිතුර – ආර්ථික වර්ධනයක්‌ මූර්ත වශයෙන් වෙනවා නම් ඒ සමඟම මිල මට්‌ටමේ යම්කිසි ඉහළ යාමක්‌ සිදුවෙනව නම්, ඒ දෙකින්ම පෙන්නුම් කරන්නේ ඒ රටේ අදාළ කාලය තුළ ගනුදෙනු කළ යුතු භාණ්‌ඩ හා සේවා ප්‍රමාණයේ වටිනාකම ඉහළ යනව කියන එකයි. මේ සඳහා අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය තිබිය යුතුයි. මේක හරියටම හැන්දෑවට පාරෙ මිනිස්‌සු ඉන්නව බස්‌ නෑ වගේ. ඒ නිසා මිනිසුන්ට ගනුදෙනු කරන්න වැඩි වැඩියෙන් මුදල් අවශ්‍ය වනවිට, ඒ සඳහා මුදල් නැති වුණොත්, ඒ මිනිසුන්ට තම ගනුදෙනු පියවා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්‌ මතුවෙනව. ඒ නිසා මහ බැංකුවේ වගකීම වන්නේ ගනුදෙනු පියවා ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රමාණාත්aමකව සහ ගුණාත්මකව සැපයීමයි.

දැනට සංසරණයේ පවතින ශ්‍රී ලංකාවේ 10 වන මුදල් නෝට්‌ටු කාණ්‌ඩය මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලද්දේ වර්ෂ 1991 දීය. එනම් මීට වර්ෂ 20 කට පෙරයි. රු. 5000 ක නෝට්‌ටුවක්‌ හඳුන්වා දෙනු ලැබුවේ ආර්ථික වර්ධනයත් සමඟ ප්‍රසාරණය වන ගනුදෙනු පහසු කිරීමට බවද මහ බැංකුව කියයි. මේ නෝට්‌ටුව විශාල වටිනාකමින් යුත් ගනුqදෙනු සිදු කිරීමේදී වැඩි පහසුවක්‌ ගෙන දෙයි. රු. 5000 ක නෝට්‌ටුවක්‌ නිකුත් වුණත් අලුතින් රු. 2000 ක නෝට්‌ටුවක්‌ නිකුත් වූයේ නැත. දහසේ නෝට්‌ටු තිබෙන නිසාත්. රු. 5000 ක නෝට්‌ටුවක්‌ නිකුත් වූ නිසාත් රු. 2000 ක නෝට්‌ටුවේ එතරම් අවශ්‍යතාවක්‌ නැතැයි ද මහ බැංකුව කියයි. ඒ අනුව ඉදිරියේදී දැනට ව්‍යවහාරයේ පවතින විශාල ප්‍රමාණයේ රු. 2000 ක නෝට්‌ටුව ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් වනු ඇත.

නව මුදල් නෝට්‌ටු පිළිබඳ කළ මේ හඳුන්වාදීමෙන් පසු අප අවධානය යොමු කළ යුතු වැදගත්ම කරුණ වන්නේ මුදල් අච්චු ගැසීම පිළිබඳවයි. නව මුදල් නෝට්‌ටු නිකුත් කිරීම ගැන ඇතැම් අය කියන්නේ ” ආණ්‌ඩුව හිටු කියල මුදල් අච්චු ගහනවා” කියාය. තවත් අය කියන්නේ “දැන් ඉතිං තවත් බඩු මිල, උද්ධමනය ඉහළ යයි” කියාය. “ජනාධිපතිතුමාගෙ අත්සන දාගන්න අලුතින් මුදල් අච්චු ගහලා” කියා කියන අය ද සිටිති. “මේ නෝට්‌ටු හොරට ගහන්න ලේසියි” තවත් ඇතැම් අය කියති. ඇත්තටම එසේ හිතෙන හිතෙන හැටියට මුදල් අච්චු ගහන්න පුළුවන්ද? මේ ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අපට දැනගන්නට ලැබෙන පරිදි මුදල් නිකුත් කිරීම එසේ මෙසේ කටයුත්තක්‌ නොව විධිමත් සැලැස්‌මකට අනුව සිදු කරන්නකි. මහ බැංකුව අච්චු ගහන නෝට්‌ටු සහ ටංකනය කරන කාසි සියල්ල එකවර මහජනතාවට නිකුත් කරන්නේ නැත. ඕනෑම අවස්‌ථාවක මහ බැංකුවේ ආරක්‍ෂිත සේප්පු තුළ මුද්‍රණය කරන ලද අලුත් මුදල් නෝට්‌ටු තොග සහ ටංකනය කරන ලද අලුත් කාසි තොග ඕනෑ තරම් තිබේ. එහෙත් ඒවා මහජනතාවට නිකුත් කරන තෙක්‌ මුදල් ලෙස සලකන්නේ නැත. එසේම මහ බැංකුව විසින් මහජනතාවට නිකුත් කරන තෙක්‌ මහ බැංකුවේ ඇති කාසි හා නෝට්‌ටු තොග රටේ මුදල් සැපයුමට එකතු වන්නේ ද නැත. ඒ නිසා වචනාර්ථය අනුව ගතහොත් “මුදල් අච්චු ගැසීම” යන්න රටේ උද්ධමනයට හෝ මුදල් සැපයුමට බලපාන දෙයක්‌ නොවේ. වචනාර්ථය අනුව “මුදල් අච්චු ගැසීම” යනු අලුතින් නෝට්‌ටු මුද්‍රණය කිරීම සහ කාසි ටංකනය කිරීමයි. මහජනතාවට මේ අලුත් නෝට්‌ටු හා කාසි දකින්නට ලැබෙන්නේ මහ බැංකුව විසින් මහජන සංසරණය සඳහා මේවා නිකුත් කළ විටය. ඒ නිසා සාමාන්‍ය මහජනතාව විසින් මුදල් අච්චු ගැසීම ලෙස අදහස්‌ කරන්නේ කලින් සඳහන් කළ වචනාර්ථය නොව මහ බැංකුව විසින් වරින් වර ආර්ථිකයට අලුතින් කාසි හෝ නෝට්‌ටු (ව්‍යවහාර මුදල්) නිකුත් කිරීමයි.

සාමාන්‍යයෙන් වාර්ෂිකව රටේ ව්‍යවහාර මුදල් (කාසි හා නෝට්‌ටු) ප්‍රමාණය වැඩි වීමට බලපාන මූලික සාධක දෙක වන්නේ උද්ධමනය සහ ආර්ථික වර්ධනයයි. උද්ධමනය නිසා කිසියම් නිශ්චිත භාණ්‌ඩ හා සේවා ප්‍රමාණයක්‌ මිලදී ගැනීමට වැය කළ යුතු මුදල් ප්‍රමාණය ඉහළ යයි. එසේම ආර්ථික වර්ධනය නිසා වැඩි වන භාණ්‌ඩ හා සේවා ප්‍රමාණය හුවමාරු වීම සඳහා පෙරට වඩා වැඩි මුදල් ප්‍රමාණයක්‌ ද අවශ්‍ය වේ. ඒ නිසා මෙලෙස රටක ආර්ථික කටයුතුවල සිදුවන ප්‍රසාරණයට සාපේක්‍ෂව මහජන සංසරණය සඳහා වැඩි මුදල් ප්‍රමාණයක්‌ නිකුත් කිරීම අවශ්‍ය දෙයකි. එහෙත් ආර්ථික වර්ධනයට හා උද්ධමනයට සමගාමී නොවන ලෙස අතාර්කිකව ව්‍යවහාර මුදල් නිකුත් කළහොත් එය අනිවාර්යයෙන්ම ජනතාවගේ ඉල්ලුම ඉහළ ගොස්‌ තව තවත් මිල මට්‌ටම් ඉහළ යැමටත් ඒ තුළින් උද්ධමනය ඉහළ යැමටත් නිසැක වශයෙන් ම හේතු වෙයි. රටකට අහිතකර වන්නේ එවැනි ආකාරයෙන් අලුතින් මුදල් ආර්ථිකයට නිකුත් කිරීමයි. ඒ නිසා අලුත් මුදල් නිකුතුවක හොඳ නරක අප විමසිය යුත්තේ මේ පසුබිම අනුවය.

මෙහිදී තවත් කිව යුතු දෙයක්‌ තිබේ. එනම් ආර්ථිකයේ ගනුදෙනුවලට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් මුදල් නිකුත් කිරීම ද සුදුසු දෙයක්‌ නොවන බවයි. එහිදී රටේ ගනුදෙනුවලට අවශ්‍ය මුදල් ප්‍රමාණවත් නොවීම නිසා ආර්ථිකයේ නිෂ්පාදන ක්‍රියාවලියට අහිතකර බලපෑම් සිදු වෙයි. ඒ නිසා සෑමවිටම ආර්ථිකයේ වර්ධන අවශ්‍යතාවන්ට සහ ගනුදෙනු කිරීමට අවැසි ප්‍රශස්‌ත ව්‍යවහාර මුදල් ප්‍රමාණයක්‌ මහජන සංසරණයට අවශ්‍ය ය. එවැනි ප්‍රශස්‌ත ව්‍යවහාර මුදල් ප්‍රමාණයන් වරින්වර ආර්ථිකයට නිකුත් කිරීම මහ බැංකුවේ වගකීමකි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

http://www.divaina.com/2011/02/20/economic07.html