හොර නෝට්‌ටු ජාවාරම

නොයෙකුත් හොර ජාවාරම් අතර හොර මුදල් නෝට්‌ටු ජාවාරම් ද සිදු වෙමින් තිබේ. කෙතරම් අරක්‍ෂක පියවර ගනු ලැබුවත් හොර මුදල් ජාවාරම්කරුවන් ඒවාට ද අනුගත වෙමින් හොර මුදල් නෝට්‌ටු ජාවාරම් දිගටම සිදු කරමින් සිටිති. මුදල් ඉතිහාසය ගැන අධ්‍යයනය කරන විට දැනගන්නට ඇති පරිදි ලෝකයේ මුදල් භාවිතය ආරම්භ වූ කාලයේ සිටම මෙම හොර මුදල් ජාවාරම් ද සිදුව ඇත. මෙම ජාවාරම් මැඩලන්නට නොයෙකුත් නීති හා දැඩි දඬුවම් පනවා තිබුණත්, ව්‍යාජ මුදල් නිෂ්පාදනය මුළුමණින්ම වැළැක්‌වීමට අපහසු කරුණක්‌ බවටද පත්ව තිබේ. ලෝකයේ සෑම රටකම ව්‍යාජ මුදල් නිෂ්පාදනය සිදු වුවත්, අප රටේ මේ ව්‍යාජ මුදල් නෝට්‌ටු නිෂ්පාදනය කිරීම පිළිබඳ ප්‍රවෘත්ති අපට නිරන්තරයෙන්ම අසන්නට ලැබෙයි. මහා පරිමාණයෙන් මෙන්ම සුළු පරිමාණයෙන්ද මේ හොර මුදල් ජාවාරම් සිදුවෙමින් තිබේ. එවැනි හොර මුදල් නෝට්‌ටු නොදැනුවත්ව ඔබ අතටද පත් වී නොයෙකුත් පාඩුවලට සහ අපහසුතාවන්ට මුහුණදීමට ඔබටද සිදු විය හැකිය. ඒ නිසා මේ පිළිබඳ මහජනතාව වශයෙන් ඔබද අවදියෙන් සිටීම වැදගත්ය.

අප මේ පූර්විකාව සටහන් කළේ පෙරේදා (25 දා) සවස කුරුඳුවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට ගෙනා රු. මිලියන දෙකක (රු. ලක්‍ෂ 20 ක) වටිනාකමින් යුත් රු. 5000 මුදල් නෝට්‌ටු 400 ක්‌ ව්‍යාජ නෝට්‌ටු බවට හඳුනා ගැනීමේ සිද්ධිය නිසාය. පොලිසිය පවසන පරිදි මේ ව්‍යාජ මුදල් නෝට්‌ටු බැංකුවේ තැන්පත් කිරීමට රැගෙනවිත් තිබුණේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ දියණියවන දුලංජලී ජයකොඩි මහත්මියයි. ඇය එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරියද වෙයි. මේ සිද්ධියට වැඩි ප්‍රසිද්ධියක්‌ ලැබී තිබෙන්නේ, ඇය විසින් මේ ව්‍යාජ මුදල් නෝට්‌ටු බැංකුවේ තැන්පත් කිරීමට ගෙනා නිසා බව පැහැදිලි කරුණකි. කවරක්‌ නමුත් මේ හොර මුදල් නෝට්‌ටු සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති දියණියගේ නම සඳහන් වූ නිසාත්, ඒ සඳහා ලොකු ප්‍රසිද්ධියක්‌ ලැබුණු නිසාත්, මෙහිදී සඳහන් කළ යුතු තවත් කරුණක්‌ තිබේ. අද වන විට සෑම බැංකු ශාඛාවකම ව්‍යාජ මුදල් නෝට්‌ටු හඳුනා ගැනීමේ යන්ත්‍ර තිබේ. ඒ නිසා හොර මුදල් නෝට්‌ටු බැංකුවක තැන්පත් කිරීමට රැගෙන ගියහොත් එය බැංකුවේ දී අනිවාර්යයෙන්ම හසු වෙයි. මේ ගැන හොර මුදල් ජාවාරම්කරුවන් හොඳටම දන්නා බැවින්, ඔවුන් කිසිවිටෙකත් හොර මුදල් නෝට්‌ටු බැංකුවල තැන්පත් කිරීමට රැගෙන එන්නේ නැත. ඒ නිසා යම් අයෙකු හොර මුදල් නෝට්‌ටු බැංකුවක තැන්පත් කිරීමට රැගෙන එන්නේ නම්, අපට බොහෝදුරට සිතීමට ඉඩ තිබෙන්නේ එම මුදල් නෝට්‌ටු ව්‍යාජ ඒවා බව නොදැන ඒවා බැංකුවට රැගෙනවිත් ඇති බවයි. දුලංජලී ජයකොඩි මහත්මිය සම්බන්ධ සිද්ධිය ගැන ද අපට මෙසේ සිතිය හැකි නමුත්, එම නොදැනුවත්කම පමණක්‌ නිදහසට කරුණක්‌ නොවේ. ඇයට පමණක්‌ නොව වෙනත් කවර පුද්ගලයෙකුට වුවත් එම ව්‍යාජ මුදල් නෝට්‌ටු ගැන, ඒවා තමාට ලැබුණු ආකාරය ගැන පොලිසියට පිළිතුරු දීමට අනිවාර්යයෙන්ම සිදුවේ.

මේ අනුවම රු. ලක්‍ෂ 20 ක්‌ වටිනා ව්‍යාජ රු. 5000 නෝට්‌ටු 400 ක්‌ කුරුඳුවත්ත ප්‍රදේශයේ බැංකුවක තැන්පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් දුලංජලී ජයකොඩි මහත්මියගෙන් පෙරේදා (25 දා) සවස සිටම ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබිණි. එම ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇති තොරතුරු අනුව ඇයට එම මුදල් ලබාදුන්නේ යෑයි කියන පුද්ගලයාද මේ වන විට පොලිස්‌ අත්අඩංගුවට පත්ව තිබේ. මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි ඔහු කෝට්‌ටේ ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් සමාගමක කළමනාකාර අධ්‍යක්‍ෂවරයෙකි. ඔහු දුලංජලී ජයකොඩි මහත්මියට මෙම මුදල් ලබාදී ඇත්තේ ඔවුන් අතර තිබූ ගනුදෙනුවක්‌ පියවීමටය. මෙම මුදල් තොගය ඇයට ලැබී ඇත්තේ පෙරේදා (25) උදැසනය. ඇය සවස එම මුදල් රැගෙන කුරුඳුවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවට ගොස්‌ ඇත්තේ සවස 2.17 ට පමණය. එම මුදල් තැන්පත් කිරීමට භාරදීමෙන් පසු ඒවා ව්‍යාජ මුදල් නෝට්‌ටු බව එම බැංකුව විසින් හඳුනාගෙන තිබේ. ඒ බව අදාළ බැංකු සේවිකාව විසින් දුලංජලී මහත්මියට දැන්වීමෙන් පසු ඇය මවට දුරකථන ඇමතුමක්‌ ලබාදී ඉක්‌මණින්ම බැංකුවෙන් පිටව ගොස්‌ තිබූ බවද මාධ්‍ය වාර්තාකර තිබිණි. ඉන් පසු බැංකුව ඒ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබේ. ඒ අනුව එම බැංකුව වෙත පැමිණි රහස්‌ පොලිස්‌ නිලධාරින් එම මුදල් තැන්පත් කිරීමට පැමිණි අය කවුරුන්දැයි හඳුනා ගැනීම සඳහා එම බැංකුවේ සී.සී.ටී.වී. කැමරා පරීක්‍ෂා කිරීමේදී එම ව්‍යාජ මුදල් නෝට්‌ටු බැංකුවට රැගෙනවිත් ඇත්තේ දුලංජලී ජයකොඩි මහත්මිය බවට හඳුනාගෙන තිබේ. ඉන් පසු මේ හොර සල්ලි ගැන ඇයගෙන් ප්‍රශ්න කර, ඒවා ඇයට ලබාදුන් බව කියන පුද්ගලයාව රහස්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රහස්‌ පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණ අනුව මේ හොර මුදල් නෝට්‌ටු ජාවාරමේ සුලමුල තවදුරටත් රටට හෙළිදරව් වනු ඇත.

මහ බැංකුව විසින් නව රු. 5000 නෝට්‌ටුව හඳුන්වාදීමෙන් පසු රු. 5000 ව්‍යාජ නෝට්‌ටු නිකුත් වී තිබුණත් රු. 5000 නෝට්‌ටු 400 ක්‌ වැනි විශාල ප්‍රමාණයක්‌ එකවර හසුවූ ප්‍රථම අවස්‌ථාව මෙයයි. මෙවැනි ව්‍යාජ මුදල් නෝට්‌ටු භාවිතයේ පැවැතීම නිසා ආර්ථිකයට විශාල අහිතකර බලපෑම් ඇති වෙයි. මහජනතාව තුළ රටේ සැබෑ මුදල් නෝට්‌ටු පිළිබඳව පවතින විශ්වසනීයත්වයද මේ නිසා බිඳී යයි. ඒ නිසා හොර මුදල් ජාවාරම් මැඩීමට හෝ හැකිතාක්‌ දුරට අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම රටේ මහ බැංකුවේ මෙන්ම නීතිය ක්‍රියාත්මක කරන අංශවලද වගකීමකි. මේ පිළිබඳව දැනුවත් වී ව්‍යාජ මුදල් නෝට්‌ටුවක්‌ තමන් අතට පත් වීමෙන් වැළකී සිටීම සඳහා පියවර ගැනීමට මහජනතාවගේ පැත්තෙන්ද වගකීමක්‌ තිබේ. ඒ නිසා රටේ පුරවැසියන් වශයෙන්ද මුදල් නෝට්‌ටුවල යොදා ඇති ආරක්‍ෂණ සලකුණු පිළිබඳව දැනුම්වත් වී මුදල් පරිහරණය කිරීම තුළින් එවැනි හොර මුදල් නෝට්‌ටු තමන් අතට පත්වීම වළක්‌වා ගත හැකි වන අතරම, ඒ නිසා සිදුවිය හැකිව තිබෙන පාඩු සහ අපහසුතා මඟහරවා ගැනීමටද පුළුවන්කම ලැබේ.

මුදල් නීති පනත අනුව අප රටේ ව්‍යවහාර මුදල් (කාසි හා නෝට්‌ටු) නිකුත් කිරීමේ පරම අධිකාරී බලය පැවරී ඇත්තේ මහ බැංකුවටය. වෙනත් කිසිම අයෙකුට මුදල් නිකුත් කිරීම සපුරා තහනම් වෙයි. ඒ අනුව ව්‍යාජ මුදල් නෝට්‌ටුවක්‌ යනු රටක මුදල් නිකුත් කිරීමේ බලය ඇති නීතිමය අධිකාරිය විසින් නිකුත් කර ඇති මුදල් නෝට්‌ටු අනුකරණය කරමින් වංචනිකව නිර්මාණය කර ඇති මුදල් නෝට්‌ටු ප්‍රතිනිර්මාණයන්ය. මෙවැනි ව්‍යාජ නෝට්‌ටු නිෂ්පාදනය අසීරු කිරීමට මුදල් නෝට්‌ටුවලට ඇතුළත් කරන ආරක්‍ෂණ සලකුණු ද දිගින් දිගටම තර කරනු ලැබුවද, හොර නෝට්‌ටු මුද්‍රණය කර බෙදා හැරීමේ සිද්ධි විටින් විට රටේ නොයෙක්‌ ප්‍රදේශවලින් වාර්තා වෙයි. එහෙත් මේ හොර සල්ලි මුද්‍රණය කර බෙදාහැරීම සිර දඬුවම් හා දඩවලට යටත් වීමට සිදුවන වරදකි. මේ අනුව පහත සඳහන් කටයුතු සිදුකොට, ඒ සම්බන්ධයෙන් වරදකරුවකු වන්නෙකුට දණ්‌ඩ නීති සංග්‍රහය අනුව වසර 20 ක්‌ දක්‌වා වන සිර දඬුවමකට හෝ දඩයකට හෝ ඒ දඬුවම් දෙකටම හෝ යටත් වීමට සිදු වේ. ඒ සඳහා හේතු වන කටයුතු මෙසේ සඳහන් කළ හැකිය.

* හොර නෝට්‌ටුවක්‌ තැනීම හෝ එවැනි ක්‍රියාවලියක කුමන කොටසක්‌ හෝ දැනුවත්ව සිදු කිරීම.

* හොර නෝට්‌ටුවක්‌ බව දැනුවත්ව හෝ හොර නෝට්‌ටුවක්‌ බවට පිළිගත හැකි හේතු තිබියදී හොර නෝට්‌ටුවක්‌ ලබා ගැනීම, වෙනත් අයකුට ලබාදීම, හුවමාරු කිරීම හෝ එය සැබෑ නෝට්‌ටුවක්‌ ලෙස භාවිත කිරීම.

* හොර නෝට්‌ටුවක්‌ බව දැනුවත්ව එය සැබෑ නෝට්‌ටුවක්‌ සේa භාවිතා කිරීමේ අදහසින් තමා සන්තකයේ තබා ගැනීම.

* හොර නෝට්‌ටුවක්‌ තැනීම සඳහා යම් යන්ත්‍රයක්‌, උපකරණයක්‌, ද්‍රව්‍යයක්‌ හෝ වෙනත් ඕනෑම මෙවලමක්‌ සැපයීම, විකිණීම, මිලදී ගැනීම, ලබාදීම, එවැනි උපකරණයක්‌ සන්තකයේ තබා ගැනීම හෝ එවැනි කටයුත්තකට කුමන ආකාරයකින් හෝ උදව් කිරීම.

 

10-1

 

http://www.adsking.lk/index.php/breaking-news/15532-2014-03-27-07-32-17